Thursday 9th of July 2026

English Tamil
Advertiesment


SLID ආයතනික අධ්‍යක්ෂ සමුළුව 2026-ප්‍රධාන දේශනය මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා


2026-07-09 1215

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (Sri Lanka Institute of Directors - SLID) මගින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා ආයතනික අධ්‍යක්ෂ සමුළුව 2026 (Sri Lanka Corporate Director Summit 2026) සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් විශේෂඥයින් දෙදෙනෙකු එක්වීමට නියමිත අතර, එමඟින් ආයතනික පාලනය (Corporate Governance) සහ අධ්‍යක්ෂ මණ්ඩල නායකත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවාද වේදිකාව ලෙස සමුළුවේ නාමය තව දුරටත් ශක්තිමත් වනු ඇත.

සමුළුව 2026 ජූලි 22 වැනිදා කොළඹ "Cinnamon Grand" හෝටලයේදී පැවැත්වෙන අතර, එක්සත් රාජධානියේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ සභාපති සහ උප කුලපති මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා මහතා සජීවී අන්තර්ජාල සම්බන්ධතාවයක් (Virtual Live Address) ඔස්සේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතෙකු වන මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා, උසස් අධ්‍යාපනය වෙනුවෙන් කළ සුවිශේෂී සේවාව ඇගයීමක් ලෙස 2026 වසරේ බ්‍රිතාන්‍ය රජුගේ අලුත් අවුරුදු ගෞරව නාම ලැයිස්තුවෙන් (King's New Year Honours) නයිට් පදවියෙන් පිදුම් ලැබීය.

"Future-Ready Sri Lankan Boards-Leading Through Innovation, Talent, Technology and Global Competitiveness" යන මැයෙන් පැවැත්වෙන ඔහුගේ ප්‍රධාන දේශනයේදී, වේගයෙන් වෙනස් වන ගෝලීය ව්‍යාපාරික පරිසරය ඇතුළත සාර්ථකත්වය සඳහා ශ්‍රී ලාංකික ආයතනික අධ්‍යක්ෂ මණ්ඩල සූදානම් විය යුතු ආකාරය පිළිබඳ අවධානය යොමු කරනු ඇත.

සමුළුවේ තවත් ප්‍රධාන දේශනයක් ලෝක බැංකු සමූහයේ (World Bank Group) ගෝලීය කුසලතා සහ වෘත්තීය සංවර්ධන අංශයේ ප්‍රධානී එඩිත් උමෝලේ (Edith Umole) විසින් පවත්වනු ඇත. "The Board's Responsibility for Talent" යන මැයෙන් පැවැත්වෙන ඇයගේ දේශනයේදී, අනුප්‍රාප්තික සැලසුම්කරණය (Succession Planning), නායකත්ව සංවර්ධනය සහ මානව සම්පත් කළමනාකරණය ආයතනික පාලනයේ මූලික වගකීම් ලෙස සැලකිය යුතු ආකාරය අවධාරණය කිරීමට නියමිතය.

ජාත්‍යන්තර අත්දැකීම් මත පදනම්ව, නායකත්ව පරපුර ශක්තිමත් කිරීම, ආයතනික ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ඉහළ නැංවීම සහ දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා වන උපාය මාර්ග ද ඇය විසින් ඉදිරිපත් කරනු ඇත.

මේ සමුළුව සඳහා ආයතනික අධ්‍යක්ෂවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs), නියාමන ආයතන නියෝජිතයන්, ආයෝජකයන් සහ ආයතනික පාලන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රැසක් සහභාගී වීමට නියමිතය. තිරසාර වර්ධනය, නවෝත්පාදනය සහ ගෝලීය තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ආයතනික අධ්‍යක්ෂ මණ්ඩලවල කාර්ය භාරය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් මෙහිදී සිදු කෙරෙනු ඇත.

සමුළුව සඳහා ලියාපදිංචි වීම මේ වන විට ආරම්භ කර ඇති අතර, SLID සාමාජිකයන් සඳහා ගාස්තුව රුපියල් 30,000ක් සහ සාමාජික නොවන අය සඳහා රුපියල් 35,000ක් ලෙස නියම කර තිබේ. වැඩිදුර තොරතුරු සඳහා [email protected] විද්‍යුත් තැපෑල හෝ 076 545 4279 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.

Advertiesment